
ඔබේ දරුවා පාසලේදී හිරිහැරයට ලක් වන බව දැනගන්න ක්‍රම 5ක්
අලුතින් පාසලට පිවිසෙන ඔබේ දරුවා මෙතෙක් දැන නොසිටි තවත් දරුවන් රැසක් අතරට එක් වරට ම මුදා හැරෙනවා. දරුවන් මල් වගේ වුවත්, රෝස මල්වල කටු මෙන්ම බාඳුරා මල් පවා ඒ අතර සිටිය හැකියි.
විවිධ පවුල් පරිසර වලින් පැමිණෙන දරුවන් තමන්ගේ නිවසේ පීඩනය, නිසි මඟ පෙන්වීමක් නොමැති කම ආදිය නිසා වෙනත් දරුවන්ගෙන් ඒවා පිරිමසා ගන්නට ඉඩ තිබෙනවා. දරුවන් පමණක් නොව, ඇතැම් ගුරුවරුන් පවා එසේ විය හැකියි. එනිසා ඔබේ දරුවාගෙන් මේ දේවල් එකකට වඩා දකින්නට ලැබෙනවාදැයි සැලකිල්ලෙන් ඉන්න.
පාසල් යාමට ඇති අකමැත්ත

todaysparent.com
පාසල හිරිහැර සිදුවන ප්‍රධාන ස්ථානය නිසා, උදේ අවදි වී නිවසින් බැහැර යාමට දරුවකු දක්වන අකමැත්ත යනු යම්කිසි වැරැද්දක් ඇති බවට සංඥාවක් විය හැකිය. කුඩා දරුවන් නිවසේ රැඳී සිටීම සඳහා නැවත නැවත නිදහසට කරුණු ඉදිරිපත් කිරීම, එනම් කැක්කුම් සහ වේදනාවන් හෝ ලෙඩවූ බව කියා පාසලෙන් කලින් බැහැර වීමට නිතර නිතර ඇමතුම් ලබා ගැනීම සිදුවිය හැක.
සති අන්තය නිදහසේ නිවසේ ගෙන දරුවා විශේෂයෙන් සඳුදා දිනයන් හි දී තමාට මුහුණ දෙන්නට වන අකරතැබ්බ සිහි කරමින් එදිනට පාසල් නොයා සිටීමට උත්සාහ කරයි. නමුත්, ඒ ඔවුන් ගෙදර වැඩ අතපසු කළ නිසා ද යන්නත් සොයා බැලිය යුතුයි.
නිතර ඇතිවන හිසරදය සහ බඩේ අමාරුව

newsweek.com
හිසරදය, බඩේ අමාරුව යනාදිය හිරිහැර කිරීම් හා සම්බන්ධ ආතතිය හා කාංසාව පිළිබඳ පොදු භෞතික ප්රකාශනයකි. මේවා පාසල හා වෙනත් සමාජ ක්‍රියාකාරකම් වලින් බැහැරව සිටීමට ව්‍යාජ ලෙස සකස් කළ නිදහසට කරුණු ද විය හැකිය.
නිරන්තරයෙන් ඔවුන් එවන් හැසිරීමක් දක්වන්නේ නම්, විශේෂයෙන් පාසල හෝ පෞද්ගලික පන්තියකට යාම වළක්වා ගැනීමට එය කරන බව වැටහෙන්නේ නම් ඔවුන්ව ආදරයෙන් ළඟට ගෙන, එම රෝගවලට ප්‍රතිකාර කරන බව දක්වා අවසානයේ, නිතර මෙසේ සිදුවීම ඔබට වැටහුණු බවත් ඊට හේතුවක් තිබෙනවා නම් තමා එය විසඳන්නට උපකාර වන ලෙසත් කියමින් ඔවුන්ගේ හදවතට සමීප වෙන්න.
මිතුරන්ගේ වෙනස්වීම්

katherinekam.com
ඇතැම් මව්පියන් දරුවා පාසලට බාර දීමෙන් පසු ඔවුන්ට මිතුරන් සොයා දීම ද කරති. දරුවාගේ කැමැත්තක් නොමැතිව කරන මෙම කටයුත්ත ඔබ විසින්ම දරුවාව හිංසකයෙක් වෙත යොමු කිරීමක් විය හැක. නැතහොත්, දරුවා මුල් දිනවලදී ඔබ සමඟ කී මිතුරන්ගේ නම් එක්වරම වෙනස් වී ඇත්නම් හෝ ඔවුන් මිතුරන්ගෙන් ඉවත්ව සිටින්නට උත්සාහ ගන්නා බව හැඟෙන්නේ නම් ඒ ගැන සොයා බැලීම අත්‍යාවශ්‍ය වේ.
දරුවාගේ වැරැද්දක් නිසා එසේ සිදුවී ද යන්නත් සොයා බැලිය යුතු වේ. ඇතැම්විට, මිතුරු කණ්ඩායමේ හිංසකයා ඔබේ දරුවා විය හැකියි.
නිදාගැනීමේ අපහසුතා

yourhealth.net.au
ඊළඟ දවසේ පාසලේදී හෝ වෙනත් තැනක සිදුවිය හැකි දෙයක් ගැන දරුවෙකු නොසන්සුන් හෝ කනස්සල්ලට පත්ව සිටී නම්, ඔහුට හෝ ඇයට නිදා ගැනීමේ අපහසුතාවයන් තිබිය හැක. දරුවෙකු උදේ නැඟිටපු අවස්ථාවේ වෙනදාට වඩා වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබේ නම්, ඒවා රාත්‍රියේ නිදා ගැනීමට අපහසු වූ බවට ලකුණු විය හැකිය.
නිසි සනීපාරක්ෂාවක් පවත්වා ගැනීමට නොහැකි වීම, රාත්‍රිය වනතෙක් රූපවාහිනී හෝ දුරකතන භාවිතය හැරුණු කොට, නින්දට ඇති ගැටළු බොහෝ විට හිරිහැර කිරීම් හා මානසික අවපීඩනය යනාදිය පෙන්නුම් කරන ලක්ෂණ වේ.
පවුලෙන් හෝ අන්තර්ජාලයෙන් ඉවත්ව සිටීම

scmp.com
දරුවෙකු සාමාන්‍යයෙන් තරම් කතාබහට ප්‍රිය නොවන්නේ නම් හෝ පාසලෙන් පසු කෙලින්ම ඔවුන්ගේ කාමරයට ගොස්, තනිව කල් ගෙවන්නේ නම් එය ඔබේ අවධානය යොමු විය යුතු කරුණක් විය හැකිය. මෙසේ ඔවුන් ඔබෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් ඉවත්ව කල් ගෙවීම දරුවා තම ආත්ම අභිමානය ඉතා අඩු මට්ටම තබා සැලකීමට හේතුවකි.
සාමාන්‍යයෙන්, මෙරට දරුවන් කුඩා වයසේ සමාජ ජාල භාවිතයක් නැතත්, යම් හෙයකින් ඔබේ දරුවා වෙනදා මෙන් පරිගණකය / දුරකතනය භාවිතයට කැමැත්තක් නොදක්වනවා නම් ඒ බොහෝ විට එතුළින් ලද පීඩාවක් නිසා විය හැකියි. පාසලේදී නැතත්, අන්තර්ජාලය හරහා මිතුරන් ඔවුන්ට හිංසා කරනවා විය හැකියි.
මෙවන් සාධක එකකට වඩා වැඩි ප්‍රමාණයක් දරුවා දක්වන්නේ නම්, ඔවුන්ට බෙහෙවින් සමීප වන්න. ඔවුන්ට ඔබ සවියක් බව, ආදරය කරන බව පෙන්වා දෙන්න. ඔබව විශ්වාස කළ හැකි බව වැටහුණු විට ඔවුන් තමාට ඇති කරදරය ගැන ඔබට කියාවි. ඒත්, ඒ ගැන විටින් විට විමසමින් දරුවාට නිවසත් එපා වෙන තැනට වැඩ නොකිරීම ඔබේ යුතුකමයි.