
අවුරුදු 4-5 වියැති ඔබේ දරුවාට ආහාර දෙනවිට මේ දේවල් කරන්න
දරුවන්ට ආහාර ලබා දීමේදී දෙමව්පිය ඔබට ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. දවස පුරා විවිධ පැණිරස වර්ග ආහාරයට ගනිමින් කල්ගත කරන ඔවුන් ප්‍රධාන ආහාර වේල්වලදී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. “ආදරය” යන සුදු රෙද්දෙන් වැසුණු “බල කිරීම” එවිට දරුවන් වෙත හොල්මන් කරන අතර ඉන් ඔවුන්ට ආහාර ගැනීම යනු හුදෙක් මානසික ආතතිය වඩවන අප්‍රසන්න දෙයක් බවට පත් වෙනවා. එවන් ගැටළු වළක්වා ගන්න මේ දේවල් කරන්න.
විවිධ සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග ලබා දෙන්න

naturefresh.ca
ළමයින් විවිධ ආහාර අනුභව කරන විට, ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් ආදී පෝෂක සමතුලිතව ලබා දිය හැකි වේ. කාබෝහයිඩ්රේටයක් වන බත් ප්‍රධාන ආහාරය වූ රටක් වශයෙන් දරුවාට සමතුලිත පෝෂණයක් ලබා දීම සඳහා වැඩි ප්‍රමාණයක් බත් කවා බඩ පුරවනවාට වඩා සෑම පෝෂණ අවශ්‍යතාවයක්ම සම්පූර්ණ කිරීම අත්‍යාවශ්‍ය වේ.
නැවුම් එළවළු සහ පලතුරු, අඩු මේද සහිත කිරි නිෂ්පාදන (කිරි, යෝගට්, චීස්) හෝ කිරි ආදේශක, ප්‍රෝටීන් (බෝංචි, කුකුල් මස්, මාළු, බිත්තර) සහ රළු ධාන්‍ය වර්ග මෙහි ලා සැලකිය හැක.
ළමයින් “හබුන් කට” වනතුරු ම කන්නේ නැහැ

lisalewismd.com
සුදුසු ප්‍රමාණයේ ආහාර ප්‍රමාණයන් ඔවුන්ට ලබා දෙන්න. නමුත් ඔබේ දරුවා සෑම විටම ලබා දෙන ආහාර සියල්ලම අනුභව කරනු ඇතැයි අපේක්ෂා නොකරන්න. දරුවකු ආහාර ගත යුත්තේ ඔවුන්ට අවශ්‍ය විටකදී, ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට මිස ඔරලෝසු කටු මඟින් දක්වන වේලාවකට හෝ මව් පියන්ට අවශ්‍ය ප්‍රමාණයකට නොවේ.
බල කරමින් ආහාර කැවීමෙන් ඔවුන්ට එය හුදෙක් හිසරදයක් වනු ඇත. ඔවුන්ට පෙනෙන්නට ඔබ ආහාර ගන්නා විට අනුකරණයට ප්‍රිය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් නිතැතින්ම ඔබෙන් “ඉල්ලාගෙන කනු ඇත”.
සීනි සහිත ආහාරපාන වෙනුවට ජලය සහ කිරි

medicalnewstoday.com
සීනි, සහ ළමාවිය කියන්නේ ගහට පොත්ත වගේ බැඳුණු දෙයක්. රස සහ ආශාවන් වලට වඩා තමාගේ අනාගත සෞඛ්‍යය මත ඇතිවිය හැකි ප්‍රතිඵල දරුවන්ට ඉගැන්වීම වැදගත් වේ. “තාත්තා ටොපි ගෙනාවේ නැද්දැ?”යි ඔවුන් ඔබට කරදර කරන්නේ දින කිහිපයක් ඔබම ඔවුන්ට ඒවා පුරුදු කළ නිසා යි.
සීනි සහිත බීම අතර සෝඩා, පලතුරු යුෂ බීම, ලෙමනේඩ්, සීනි අධික තේ සහ විශේෂයෙන් ශක්තිජනක පාන වර්ග ඇතුළත් වේ. සීනි සහිත ආහාර පාන නිසා දත් කුහර හා බර වැඩිවීමට හේතු වේ. ඊට වඩා දරුවන් නැවුම් කිරි සහ ජලය පානයට හුරු කරවීම වඩාත් උචිතය.
විශේෂයෙන් ආහාර වේලාවලදී රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න

william-reed.com
ඔබේ දරුවාගේ පෝෂණයට රූපවාහිනී වෙළඳ දැන්වීම් විශාල අභියෝගයක් විය හැකිය. අවුරුදු හතර-පහක් වයසැති ළමයින්ව සීනි සහිත ධාන්‍ය නිෂ්පාදන, ක්ෂණික ආහාර සහ රසකැවිලි වැනි සෞඛ්‍යයට අහිතකර ආහාර වෙත පෙළඹවීමට දැන්වීම් හරහා පහසුවෙන් බලපෑම් කරනු ලබයි. එනමුත් ඒවා නැවැත්විය නොහැකි හෙයින් ඒවායේ ආදීනව දරුවන්ට කියා දීම හොඳ විසඳුමක් වේ.
ආහාර ගන්නා අවස්ථාවක රූපවාහිනී නැරඹීම ඔවුන්ගේ ආහාර රුචියෙහි වෙනස්කම් ඇති වීමට හැක. සිත වෙනතක යාම නිසා ආහාර ගැනීමට බාධා වීම පමණක් නොව එකට හිඳ ආහාර ගනිද්දී පවුලේ අය සමඟ ඇතිවන සබඳතා කාලය ද අවම වේ. කාර්යබහුල දෙමව්පියන් සිටින දරුවන්ට ආහාරවේල් යනු මව්පියන් සමඟ මානසික සබඳතා ගොඩ නඟා ගැනීමට වටිනා අවස්ථාවකි.
ආහාර ගැනීමේ හොඳ පුරුදු උගන්වන්න

cbc.ca
සෑමවිට ම ආහාර කැවීමට පුරුදු වූ දරුවන් ආහාර ගැනීම යනු ද ඔබ විසින් කර දිය යුතු දෙයකැයි සිතා ගනිති. අවුරුදු 4-5 යනු තවදුරටත් මව්පියන් විසින් කැවිය යුතු වයසක් නොවේ. තනිවම, තමාට අවශ්‍ය රසට අනාගෙන ආහාර ගැනීමට ඔවුන්ට අවස්ථාව දිය යුතුයි. එහිදී ඔවුන් තැන තැන කෑම විසිරවීම, කට පුරවාගෙන ආහාර ගැනීම, ශබ්ද නැඟීම ආදිය කරනු ඇති අතර එවිට ආහාර ගන්නා අවස්ථාවේදී පිළිපැදිය යුතු පුරුදු කියා දීමට එය අවස්ථාවක් කරගන්නට හැකි වේ.
දරුවන්ට හොඳ පුරුදු කියා දීම සඳහා අනුගමනය කළ යුතු දේවල් සඳහා ‘දරුවන්ට හොඳ පුරුදු කියා දෙන්නේ මෙහෙමයි’ ලිපිය බලන්න.