
ඔබත් දරුවාට නිතර බලපෑම් කරන මවක් හෝ පියෙක් බව හඳුනාගන්නට ක්‍රම 6ක්
දරුවන්ගේ අත්දැකීම් සහ ගැටළු පිළිබඳව, විශේෂයෙන් පෙර පාසලේ හෝ පාසලේ සිදුවන දේවල් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්නට ඔබ පෙළඹෙනවා ද? බොහෝ විට ඔබ එසේ කරන්නේ දරුවාට තියෙන දැඩි ආදරය නිසා බව ඔබ කියන්නට පුළුවන්. නමුත් ඇත්තම කතාව, ඔබ සමහරවිට Helicopter parent කෙනෙක් බවයි.
මේ ආකාරයේ මව්පියන් “helicopters” ලෙස හඳුන්වන්නේ දරුවන්ගේ හිසට ඉහළින් හිඳිමින් ඔවුන්ගේ සෑම දේකටම දැඩිව මැදිහත් වන නිසායි. ඒක හරියටම දැනගන්න, මේ දේවල් ඔබ ළඟ තිබෙනවා ද කියා බලන්න.
1. දරුවන් අසාර්ථක වනු දැකීමේ අපහසුතාව

(thoughtco.com)
දරුවන් කිසිවක් හරියට නොකරන බව පවසමින් බැණ වදිනවා නම්, ඒ නිසා ඔබම ඒ දේවල් කර දෙනවා නම්, ඔවුන්ගේ නොහැකියාවේ වරද ඔවුන්ගේ ළදරු වයස ම නොව, ඔබ වැරදි වැරදී ඉගෙන ගන්නට ඉඩ නොදෙන නිසා විය හැකියි.
ඇවිදින්නට පෙර දණගෑම සාමාන්‍යයි. රෝමය එක දවසකින් හැදුණේ නැහැ. ඉතින් ඔබේ දරුවාටත් ඔබ වගේම දේවල් පුරුදු පුහුණු වෙන්න කල් අවශ්‍යයි නේද?
2. පාසලෙන් දෙන ගෙදර වැඩ ඔබ ම කරනවා

(independent.co.uk)
දරුවන් ගෙදර වැඩ කරද්දී ඉතාම සුළු ගැටළු වලට වැඩි කාලයක් ගත කරනු ඔබට පෙනේවි. වැඩිහිටි ඔබට “දෙවරක් අට” යන්න කියවද්දීම 16 බව සිහිවුණත්, දරුවන්ට ඒ හැකියාව ගන්නට නම් ඔවුන් ඒ සඳහා ක්‍රම ක්‍රමයෙන් පුහුණු විය යුතුයි. එය දවසින් පහළ වන්නක් නෙවෙයි.
ඔබට එවන් අවස්ථාවන්හි දී දරුවාට බලෙන්ම උදව් කරන්න හිතෙනවා නම්, නවතින්න. ඔවුන්ට ඒ ගැටළු තනිවම විසඳා ගන්න ඉඩ දෙන්න. ඔබෙන් උපකාරයක් ඉල්වුවහොත් කෙලින්ම පිළිතුර නොකියා ඊට ළඟාවිය හැකි මාර්ගය පෙන්වා දෙන්න.
3. දරුවන්ගේ රණ්ඩු තමන්ගේ මෙන් භාරගන්නවා

(verywellfamily.com)
ඔබේ දරුවා මිතුරෙකු සමඟ ඇති වූ බහින්බස් වීමකින් පසු කඳුළු සලමින් නිවසට පැමිණෙනවා. ඔබ මොකද කරන්නේ? “ගැටලුව විසඳීම සඳහා මිතුරාගේ මවට ඇමතුමක් ගන්නවා” යනු ඔබේ පිළිතුරු නම්, ඔබ ඒ ගැන නැවත සිතිය යුතුයි.
ඒ වෙනුවට මෙහෙම කරන්න: දරුවාට සහනයක් වෙන්න, නමුත් ඔවුන්ට එය විසඳා ගැනීමට ඉඩ දෙන්න. තමන්ගේ හැඟීම් පාලනය කරගන්නේ කෙසේදැයි දරුවාට උගන්වන්න. ඉන්පසු ඔවුන් දෙදෙනාට එය තනිවම විසඳා ගත හැකි ක්‍රම ගවේෂණය කිරීමට උදව් කරන්න.
4. දරුවන් ගැටගසා තබා ගැනීම

(time.com)
අසල නිවසකට දරුවා සෙල්ලම් කරන්නට යද්දී ඔබටත් ඒ පසුපස යන්න හිතෙනවාද? ඔවුන් එකතු වී මොනවා කරනවා ද කියා නිතර සොයා බැලීම, පෙර-පාසල් ගුරුතුමියට නිතර දුරකතන ඇමතුම් දී දරුවා ගැන ඇසීම, නිරන්තරයෙන් පාසලට ගොස් දරුවා පරීක්ෂා කිරීම ඔබත් කරනවා නම් දරුවාගේ අනාගත ස්වයං-අභිමානයට එය බාධාවක් විය හැකියි.
එසේ නොකොට, දරුවාට තමන්ගේ සීමාව දැනගෙන සමාජය සමඟ කටයුතු කිරීමට ඉඩ හරින්න. ඔවුන්ව සීමා කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ අනාගත පෞරුෂත්වය බිඳ දැමීමයි.
5. ගුරුවන්ගේ ගුරුවරුන් බවට පත්වීම

(mghclaycenter.org)
පාසලේදී දරුවන් සහ ගුරුවරුන් අතර කුඩා ගැටුම් ඇති වුවත් ඒ සෑම එකකදීම ඔබ පාසලට යනවා නම්, දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි නොලැබෙන බවට අනවශ්‍ය ලෙස සිතට දැනෙනවා නම්, පාසලේ ක්‍රීඩා පුහුණුකාර ගුරුවරුන් හමුවී දරුවා පාසල් කණ්ඩායමට නොගන්නේ මන්දැයි බල කරනවා නම් ඔබ යන්නේ වැරදි මාවතක විය හැකියි.
ඒ වෙනුවට, දරුවා ඔබේ උදව් ඉල්ලුවහොත් හෝ ගැටලුවක් ඇති බව ඔබට පෙනේ නම්, අදාල ගුරුවරයා හෝ පුහුණුකරු සමඟ කතා කොට සාමකාමීව විසඳා ගන්නා ආකාරය දරුවාට උගන්වන්න.
6. ඔබ ඔබේම නිවසේ මෙහෙකරුවා/කාරිය යි

(washingtonpost.com)
එක වසරේ එනම්, අවුරුදු 6ක් තරම් දැඩි වුණු දරුවාගේ ඇඳ හදා දෙනවා නම්, රෙදි සෝදා කාමරය පිළිවෙළ කර දෙනවා නම් එය දරුවන්ට තමන්ගේ ජීවිතය ගැන වගකීම දරන්නට බාධාවක් විය හැකියි. ඇතැම්විට ඔවුන් ඒවා කරන්නට අකමැති ඇති. ඒත්, ඔවුන් එය කිසිදාක නොකරන්නේ ඔවුන් නොකර සිටින විට ඔබ කෙසේ හෝ එය කර දෙන නිසායි.
ඔබේ දරුවාගේ මෙහෙකාරිය නොවී ඔවුන්ට තමන්ගේ දේවල් කරගන්නට ඉඩ හරින්න. ඔබ පිළිවෙළට ජීවිතය ගෙවනු දකින විට, නිවස පිළිවෙලට ඇතත් ඔවුන්ගේ කාමරය පමණක් හැඩි වී ඇතිවිට ඔවුන්ම එය තේරුම් ගනීවි.
දෙමව්පියන් කවදාවත් දරුවන්ගේ අනාගතය අඳුරු වනු දකින්නට කැමති නැහැ. ඔබ ඔබේ වගකීම හොඳින් කරන දෙමව්පියෙක් බවට සැකයක් නැහැ. ඒත් සමාජ භීතිකාව, හීන වූ ස්වයං-අභිමානය, ස්වාධීන වීමට අපහසුතාව වැනි ගැටළු රැසක් ලොව පුරාම වර්ධනය වෙනවා. එයට හේතුව වැරදි ලෙස දරුවන් වැඩීම බවයි මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඉතින්, ඔබේ දරුවා හොඳින් බලාගන්න. ඒත් ඕනෑවට වඩා නම් නෙවෙයි.