
අවු. 4-5 දරුවකු ලැබිය යුතු බුද්ධිමය හා කාය වර්ධන කුසලතා මට්ටම්
දරුවන් වැඩෙත්ම ඔවුන්ගේ වයසට සරිලන කුසලතා මට්ටම් ලබා සිටිය යුතු වේ. එයට පමණ ඉක්මවා ප්‍රමාද වීම කිසියම් ගැටළු සහගත බවක පෙරනිමිත්තක් විය හැකි අතර දරුවන්ට ම එය තේරුම් ගැනීමට නොහැකි වේ. එනිසා මේ දේවල් ගැන විමසිල්ලෙන් සිටීම ඔබේ වගකීමකි.
භාෂාව සහ සංජානන මට්ටම්

littlelearningpreschool.com
මේ වයසේදී කුතුහලයෙන් හා විමසිලිමත් දරුවාට සංවාදයක් කරගෙන යාමට හැකියාව ලැබේ. ඊට අමතරව, දරුවාගේ වචන මාලාව ඔවුන්ගේ සිතීමේ ක්‍රියාවලිය සමඟ ම වර්ධනය වනු ඇත. දරුවාට සරල ප්‍රශ්නවලට පහසුවෙන් සහ තර්කානුකූලව පිළිතුරු සැපයිය හැකිවා පමණක් නොව, ඔවුන්ට වඩාත් හොඳින් හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි විය යුතුය.
ඊට අමතරව පහත දෑ දරුවා සතු විය යුතු වේ.
- වඩාත් සංකීර්ණ වාක්‍ය භාවිතා කරමින් පැහැදිලිව කථා කිරීම
- වස්තු දහයක් හෝ වැඩි ගණනක් ගණන් කිරීම
- අවම වශයෙන් වර්ණ හතරක් සහ හැඩ තුනක් නිවැරදිව නම් කිරීම
- සමහර අකුරු හඳුනාගෙන තමන්ගේ නම ලිවිය හැකි බව
- උදේ ආහාරය, දහවල් ආහාරය සහ රාත්‍රී ආහාරය වැනි වේලාව පිළිබඳ සංකල්පය සහ දෛනික ක්‍රියාකාරකම්වල පිළිවෙල වඩා හොඳින් තේරුම් ගැනීම
- යමකට හොඳින් අවධානය යොමු කිරීම
- විධාන දාමයක් අනුගමනය කිරීම. උදා: “රූපවාහිනිය නැරඹීම නවතා, දත් මැදගෙන, නිදාගන්න යන්න.”
- “නවත්වන්න” වැනි හුරුපුරුදු වාග් සංඥා හඳුනා ගැනීම
- නිවසේ ලිපිනය සහ දුරකථන අංකය මතක තබා ගැනීම
චලනය, අත් හා ඇඟිලි නිපුණතා

multiculturalkidblogs.com
ළමයින් සෙල්ලම් කරන අතරතුර ඉගෙන ගන්නා අතර, ඔබේ අවුරුදු 4 සිට 5 දක්වා ළමයින්ට ඒ සඳහා නිදහස දිය යුතු වේ. මෙම වයසේදී, ඔබේ දරුවා දිවීම, පැනීම, විසි කිරීම සහ පන්දුව පයින් ගැසීම, නැගීම සහ පහසුවෙන් පැද්දීමට හැකි විය යුතුය.
අමතර හැකියාවන්:
- තත්පර 9 කට වඩා වැඩි කාලයක් තනි පාදයෙන් සිටගෙන සිටිය හැකි බව
- උදව් නොමැතිව පඩි පෙළක ඉහළට හා පහළට ඇවිදීම
- ඉදිරියට හා පසුපසට පහසුවෙන් ගමන් කිරීම
- ට්‍රයිසිකලයක් හෝ උපකාරක යෙදූ බයිසිකල් පැදීම
- ත්‍රිකෝණයක්, රවුමක්, හතරැස් සහ වෙනත් හැඩයන් පිටපත් කිරීම
- හැකිතාක් සම්පූර්ණව මිනිසකුගේ චිත්‍රයක් ඇඳීම
- ලී කුට්ටි/පොත් 10 ක් හෝ වැඩි ගණනක් එක මත එක තැබීම
- හැන්ද භාවිතා කිරීමේ කුසලතා
- ඇඳුම් ඇඳීම සහ ගැලවීම, දත් මැදීම, සහ උදව් නොමැතිව වෙනත් පෞද්ගලික අවශ්‍යතා ගැන ඉටුකර ගැනීම
චිත්තවේගීය හා සමාජ සංවර්ධනය

prospectmagazine.co.uk
දරුවා දැන් ක්‍රමයෙන් ආත්මාර්ථකාමී බව අතහැර පරාර්ථය ගැන සිතන්නට පටන් ගනියි. සම වයස් ළමයින්ගේ සහ අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමට පටන් ගනී. ගැටුම් මඟහරවා ගැනීමට සහ තම හැඟීම් පාලනය කරගැනීමට ඔවුන්ට හැකිවිය යුතු අතර මේ සඳහා සමාජ ආශ්‍රයට ඉඩ සැලසීම වැදගත් වේ.
- වෙනත් දරුවන් සමඟ සෙල්ලම් කිරීම සහ ඔවුන්ව සතුටු කිරීම
- හුවමාරු කර ගැනීම, ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩා නීති තේරුම් ගැනීම
- නීති තේරුම් ගෙන කීකරු වීම
- කටයුතු කරගැනීමේදී වඩාත් ස්වාධීන වීම
- කෝපය ශාරීරිකව නොව (බොහෝ විට) වාචිකව ප්‍රකාශ කරයි
සැලකිලිමත් විය යුතු අවස්ථා

thechampatree.in
විවිධ දරුවන් විවිධ වේග වලින් වර්ධනය වේ. එබැවින් වෙනත් ළමුන් හා අනවශ්‍ය සේ සසඳමින් දරුවාට පීඩා කළ යුතු නොවේ. මේ මොහොතේ ඔබේ දරුවා මේ සියලු සන්ධිස්ථාන කරා ළඟා වී නොමැති නම් කලබල විය යුතු නැහැ. ඔබේ දරුවා තවත් වර්ධනය වන විට ක්‍රමයෙන් ඒවා ඔවුන් වෙත ළඟා වනු ඇත.
කෙසේ නමුත් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න.
- අතිශයින් බියසුළු, ලැජ්ජාශීලී හෝ ආක්‍රමණශීලී වීම
- දෙමව්පියන්ගෙන් වෙන් වූ විට අතිශයින් කනස්සල්ලට පත්වීම
- පහසුවෙන් අවධානය වෙනතකට යොමු වීම සහ මිනිත්තු පහකට වඩා එක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වීම
- අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට අකමැති වීම
- අඩු උනන්දුවක් තිබීම
- ඇස් දෙස බලා කතා නොකිරීම හෝ ඔබ හැර වෙනත් පුද්ගලයින්ට ප්‍රතිචාර නොදැක්වීම
- තමන්ගේ සම්පූර්ණ නම කීමට නොහැකි වීම
- පමණ ඉක්මවා මවාපෑම් හෝ මන: කල්පිතයන් ගැන කථා කිරීම
- බොහෝ විට දුක්ඛිත හා අසතුටින් සිටින බව සහ පුළුල් පරාසයක හැඟීම් ප්‍රකාශ නොකරන බව
- ලී කුට්ටි අටකට වඩා යොදා ගනිමින් කුළුණක් තැනීමට නොහැකි වීම
- පාටකූරු වැනි කුඩා දෑ හැසිරවීමේ අපහසුතාවය
- ආහාර ගැනීම, නිදාගැනීම හෝ නාන කාමරය භාවිතා කිරීම වැනි ගැටළු
- ඇඳුම් ඇඳීමට/ගැලවීමට, දත් මදින්නට, අත් සේදීමට හා පිසදා ගැනීමට උදව් නොමැතිව කළ නොහැකි බව
මේ දේවල් සුවිශේෂී ලෙස ඉස්මතුව පෙනේ නම් වෛද්‍යවරයකු හමුවී ඉක්මන් ප්‍රතිකාර ගැනීමෙන් ඔවුන්ට අනාගතයේදී ඇතිවිය හැකි කායික හෝ මානසික රෝග තත්ත්වයන් පහකරගන්නට හැකිවේවි. ඒ සඳහා දරුවාට ඔබේ උපකාරය අවශ්‍යයි.