
ඔබේ දරුවාට නිතර තරහ යනවාද?
තරහ යාම යනු දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා පාලනය කර ගැනීමට අපහසු, අනෙකුත් හැඟීම් මෙන්ම, තවත් එක් හැඟීමකි. මේ සඳහා විශේෂ සැලකිලිමත් වීමකින්, නිවැරදි පියවර අනුගමනය කළහොත් ඉතාම පහසුවෙන් එම හැඟීම පාලනය කරගන්නා ආකාරය දරුවන්ට කියා දිය හැකිය.
පිදුරු යනු ගිනි නිවීමට භාවිතා කළ නොහැකි දෙයක් සේම, තරහ ගිය දරුවකුට ඒ පාලනය කරගැනීමට ඔබෙන් ලැබිය යුත්තේ ද තවත් කෝපාවිෂ්ඨ පිළිතුරක් නොවේ.
තරහ යාමට හේතුව හඳුනාගනිමු

meredithcorp.io
පමණ ඉක්මවා අදාල නොවන දේවල් වලට පවා දරුවන් තරහ ගන්නට පෙළඹෙනවා නම් එය බොහෝදුරට බාහිරින් පෙනෙන හේතුවට වඩා අභ්‍යන්තරික හේතුවක් විය හැකියි. ඔවුන්ට ඔබෙන් හෝ කිසියම් හේතුවක් නිසා අසාධාරණයක් වූ බව, වෙනස්කොට සැලකීමක් සිදුවන බව දැනෙන්නේ නම් ඔවුන් මෙලෙස හැසිරෙනවා විය හැක.
අලුත බිහි වූ දෙවැනි දරුවකු නිසා ඔවුන්ට ලැබෙන අවධානය අඩුවීම, දෙමව්පියන්ගේ අදහස් නිතර නිතර වෙනස් වීම, දරුවන්ව පමණ ඉක්මවා පාලනය කිරීමට යාම, සිතට කම්පනයක් ඇතිවන ආකාරයේ මෑතකදී සිදුවූ සිදු වීමක් වැනි දෙයක් මෙයට හේතුව විය හැකියි.
දරුවාගේ හැසිරීමට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ytimg.com
දරුවාට නිතර තරහ යාම යනු ඔවුන්ගේ අකීකරු බව පෙන්වන ලක්ෂණයක් ම නොව, ඔබේ ආදරය සහ එම පුරුදු නැති කර ගැනීමට ඔබෙන් උදව් අවශ්‍ය බවට සංකේතයකි. දරුවකු භෞතිකව ප්රචණ්ඩකාරිව හැසිරෙනවා යනු ඔවුන්ගේ මානසිකවද ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ඇති බව බාහිර දැකගත හැකි ලක්ෂණයකි. එනිසා, ඔබ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමෙන් වැලකී සිටීමට හැමවිටම කටයුතු කළ යුතුය.
දරුවාට තරහ යන රටාවක් තිබේ නම් එය හඳුනාගැනීම, විනය පිළිබඳව මග පෙන්වීමක් ලබාදීම, ඔවුන්ට ආදර්ශයක් වන පරිදි ඔබේ හැසිරීම සකස්කරගැනීම යනාදිය සහ ඔවුන්ට ආදරයෙන් කථා කොට ඔවුන්ගේ සිතේ ඇති ගැටලු මොනවාද හඳුනා ගැනීමට උත්සාහ කිරීම මෙහිදී ඔබ ගතයුතු පියවර වේ.
දරුවා සමග කටයුතු කරන ආකාරය මෙලෙස වෙනස් කරගනිමු

onecms.io
බොහෝ දෙමාපියන් දරුවගේ අභිවෘද්ධිය තකා යැ යි සිතා තමන්ගේ දරුවන් වෙනත් දරුවන් හා සසඳමින් ඊටත් වඩා යමක් බලාපොරොත්තු වෙනවා. ඉන් සිදුවන එකම ප්‍රතිඵලය වන්නේ දරුවන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටීමයි. මේ නිසා ඔවුන් එම සැසඳීමට ලක්කරන දරුවන් සමඟ මෙන්ම මවුපියන් සමඟ ද කලහකාරීව කටයුතු කරන්නට පෙලඹෙනවා. එබැවින් දරුවන්ව නිතර ඇගයීමට හා ප්‍රශංසාවට ලක් කරන්න.
කුඩා වරදක් මගින් ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රතිරූපය තීරණය කරමින් බැණ වැදීමෙන් වැළකී සිටිය යුතුයි. දරුවා යනු ඔබේ පරම සතුට බව ඔබේ හද පත්ලෙහි තිබුණාට ඵලක් නොවේ. එය දරුවාට දැනෙන පරිදි භෞතිකව දැක්වීමට කටයුතු කළ යුතු වේ. ලාංකේය සංස්කෘතිය තුළ ආදරය යනු සඟවා ගත යුතු දෙයක් බවත්, බාහිරට පෙන්විය යුත්තේ විනය සැකසීම බවත් බොහෝ දෙනෙක් විශ්වාස කරන නිසා එයින් අවසානයේ සිදුවන්නේ විනය නැසෙන ආකාරයේ ප්රතිඵලයකි.
දරුවාට බලපෑම් කරන බාහිර සාධක හඳුනාගැනීම

k12insight.com
ඇතැම් විට දරුවාගේ වෙනසට හේතුව ඔබ ම නොව ඔවුන්ගේ පාසල හෝ අමතර පන්තියකදී සිදුවන පීඩනයක් විය හැකියි. ගුරුවරුන් දරුවාගේ වැරදි අඩුපාඩු පෙන්වා දීමට නොදන්නාකම නිසා ඔවුන්ගේ ආත්ම අභිමානය නැසී යන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
දරුවාගේ සෑම වැරැද්දක දී ම බොහෝ දෙමවුපියන් ගුරුවරු නිවැරදි බවට සලකා නැවත දරුවන්ට මම බැනවදින බවින් තත්ත්වය තවත් බරපතළ වේ වැරදි කිරීම දරුවන්ගේ ගතියයි – සමාව දීම මවුපියන්ගේ යුතුකම යි. විනයෙන් පිරි දරුවකු පසුපස ඇති රහස ඔවුන් සමග සමීපව ආදරෙන් කටයුතු කරන දෙමාපියන් සහ ගුරුවරුන්ය.
තරහ පාලනය කරගන්න ක්‍රම කියාදීම

meditationonlongisland.org
ක්‍රෝධය යනු ඕනම කෙනෙක් පාලනය කරගත යුතු හැඟීමකි. ඔබට තරහා යන අවස්ථාවක් ඇති වූ විට ඔබ කරන්නේ කුමක්ද? ඔබේ දරුවාද ඇතැම්විට එයම කරනු ඇත. නිවැරදි මඟ පෙන්වීමක් යටතේ මෙම තරහ යාමේ ගැටලුව පහසුවෙන් විසඳාගත හැකි වනු ඇත.
සිත සන්සුන් වන ආකාරයේ චෙස්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩාවන්ට දරුවන් යොමු කිරීම, සංගීත ශ්‍රවණයට පුරුදු කිරීම, සංගීත භාණ්ඩ වාදනය, චිත්‍ර ඇඳීමට යොමු කිරීම වැනි ආධ්‍යාත්මය ගොඩනැගිය හැකි ආකාරයේ කටයුතු වෙත යොමු කිරීම මෙයට පහසු ක්රමයකි. ඔබේ ආගමික විශ්වාසයන් අනුව භාවනා ක්‍රමයක් වුව මෙයට යොදා ගත හැකිය.
තමාට තරහා ඇති කරවන ආකාරයේ අවස්ථාවකින් කාරුණිකව ඉවත්ව යාම පළා යාමක් නොවන බවට දරුවාට ඉගැන්විය යුතු වේ. තරහ, කෙනෙක්ව අන්ධ කරයි, මුලා කරයි, මෝඩයකු බවට පත් කරයි. මේ කිසිවක් දරුවා දන්නේ නැත. එය කියා දීමේ වගකීම, මාපිය ඔබ සතුය.