
දරුවන්ගෙන් ගෙදර අයට රෝග, විෂබීජ පැතිරීම වළක්වන්නේ කොහොමද?
දරුවන් පාසලේදී තවත් දරුවන් විශාල ප්‍රමාණයකට නිරාවරණය වෙනවා. එහිදී එක් දරුවකු රෝගීව පාසල් පැමිණි විට එම රෝගය ඉතාම ඉක්මණින් අනෙක් දරුවන් වෙත පැතිරෙනවා. අනතුරුව ඒවා නිවසට ද පැමිණෙන්නේ ගෙදර හැමෝම ලෙඩ ඇඳට දමමින්.
එවන් අවස්ථාවක් උදා වන්නට පෙර, ගෙදර කෙනෙක් හෝ දරුවා රෝගීව සිටින විට එය එතැනින් ම නවත්වා ගන්නා ආකාරය අපි සොයා බලමු.
දෑත් පිරිසිදුව තබා ගැනීම

cbsistatic.com
හොඳින් අත් සේදීම ඔබ, ඔබට ම ප්‍රතිශක්තීකරණ එන්නතක් ලබා දෙනවාක් වැනි යි. රෝගී දරුවාගේ කටයුතු කරන්නට පටන් ගැනීමට පෙර සහ පසු හොඳින් දෑත් සෝදා ගන්නට අමතක නොකරන්න. වඩාත් ඵලදායී දෑත් සේදීමක් තහවුරු කරගැනීම සඳහා මේ දේවල් කරන්න.
ගලා යන ජලයෙන් ඔබේ දෑත් තෙත් කරන්න. පෙණ එනතුරු සබන් ගාගන්න, ඉන්පසු තදින් දෑත් එකිනෙක අතුල්ලන්න. ඇඟිල් අතර, නියපොතු, පිටි අල්ල යන ප්‍රදේශ වෙත ද අවධානය යොමන්න. අනතුරුව, සෝදා සහ වියළන්න. සෑම වරකදී ම අවම වශයෙන් තත්පර 20 ක් මේ සඳහා ගත කරන්න.
අත සේදීමට නිතර යාම අපහසු නම්, හෑන්ඩ් සැනිටයිසර් එකක් ළඟ තබා ගන්න. එවැන්නක් තෝරා ගැනීමේදී ඇල්කොහොල් මට්ටම 60% පමණ වූ එකක් ගන්න.
පොදුවේ භාවිතා වන ස්ථාන පිරිසිදු කරන්න

remodelaholic.com
නිවසේ හැම කෙනෙක්ම භාවිතා කරන ස්ථාන යනු ඉතාම ඉක්මණින් විෂබීජ පැතිරෙන ස්ථානයි. දොර හැඬලයන්, විදුලි බුබුළු ස්විච, පුටු, කෝප්ප, පිඟන්, හැඳි නිරන්තරයෙන් පිරිසිදුව තබා ගත යුතු වේ.
ස්ප්‍රේ කළ හැකි බඳුන් දෙකක් ගෙන එකක විෂබීජනාශක දියරත්, අනෙකෙහි පිරිසිදු වතුරත් යොදා, ස්පොන්ජ් එකක් සමග තබා ගැනීමෙන් ඔබට මෙය පහසුවෙන් කරගත හැකියි. රෝගය නිවසේ රැඳෙන කාලය තුළදී වෙනදාට වඩා වැඩි වාර ගණනක් නාන කාමරය / වැසිකිළි පිරිසිදු කිරීමට වග බලාගන්න.
දරුවන්ගේ සෙල්ලම් බඩු

openschoolbag.com.sg
එළිමහනේ සෙල්ලම් කිරීමට ගන්නා සෙල්ලම් බඩු විෂබීජ වලින් පිරී ගිය ඒවායි. රෝග වැළඳුණු කාලය තුළ මෙන්ම අන් දිනවලදීත් ඒවා නිවස තුළට ගැනීමෙන් වැළකීම හෝ ඒවා නිරන්තරයෙන් පිරිසිදු කිරීම අත්‍යාවශ්‍යයි. නිදා ගැනීමේදී තනියට තබා ගන්නා කිසිවක් වේ නම් ඒවා පිරිසිදුව තබා ගැනීම, නිවසේ ලෙඩ රෝග වලින් තොර අය ඒවායෙන් බැහැරව සිටීමට සිහි තබා ගත යුතු වේ.
සෙල්ලම් බඩු පිරිසිදු කිරීමේදී විෂහාරක දියරයක් පෙඟවූ රෙදි කඩකින් කරන බාහිර ඔප දැමීමක් ප්‍රමාණවත් වේ. ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු ජලයේ ගිල්වා සේදීමෙන් ලෙඩ එක-දෙක වනු ඇත!
රෙදි වෙනම සෝදන්න

ytimg.com
රෝගය වැළඳුණු දරුවාගේ රෙදි අනෙක් අයගේ ඒවායෙන් වෙන් කර සේදීම සහ වියළීම මඟින් වොෂින් මැෂින් එක රෝග වාහකයා බවට පත් වීම වළක්වා ගත හැකි වේ. ඔබ කෙතරම් කාර්යබහුල වුව ද මේ වෙනුවෙන් අමතර කාලයක් වැය නොකළහොත්, ඒ ඉතිරි වන කාලය ඔබට ලෙඩ ඇඳේ ගත කරන්නට වරම් ලබා දෙනු ඇත.
සෙම්ප්‍රතිශ්‍යා අවස්ථාවන්හි දී ලේන්සු පාවිච්චි කරන්නේ නම් ඒවා විශේෂයෙන් විෂබීජනාශක යොදා සෝදා වේලා ගත යුතු අතර, ටිෂූ කඩදාසි යොදාගන්නේ නම් ඒවා තැන තැන නොතබා, ආරක්ෂිතව බැහැර කළ යුතු වේ.
ගතේ ලෙඩ නිසා සිත ලෙඩ නොකරමු

metroparent.com
සනීපාරක්ෂාව ගැන කටයුතු කරන්නා සේ ම දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කිරීම නූතන බුද්ධිමත් දෙමව්පිය ඔබේ වගකීමකි. රෙදි වෙන්කර සේදීම, දරුවා අන් අයගෙන් ඈත් කර තැබීම ඔබ දරුවාගේ සහ අන් අයගේ සෞඛ්‍යය උදෙසා සිදුකළ ද එය තමාට වෙනස් කොට සැලකීමකැයි දරුවාගේ සිතට විෂබීජ ඇතුළු කිරීමට ඉඩ තිබේ.
එනිසා, මේ සියළු දේ කිරීමට හේතුව ඔවුන්ට පහදා දීම මේ හැමට කලින් කළ යුතුය. රෝග වැළඳීම සාමාන්‍ය දෙයක් බවත්, අම්මා-තාත්තා ද ලෙඩ වුවහොත් දරුවා ගැන බලන්නට කවුරුවත් නැති වන නිසාත් සියල්ලෝම විෂබීජ වලින් ආරක්ෂා විය යුතුය යන්න ආදරණීයව කියා දෙන්න. ඔබේ ආදරය යනු, මෙලොව කිසිදා බිහිවී නැති, අග්‍රගණ්‍ය විෂබීජ නාශකයකි!