
දරුවන් දෙයකට උනන්දු කරවන්නේ කොහොමද?
ක්‍රීඩාවන් වැනි බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කිරීම, පොතපතට යොමු කිරීම හෝ සරලව ගතහොත්, පෝෂ්‍යදායී එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගන්නට දරුවන්ව පෙළඹවීම හරිම අපහසු දෙයක්. එය පහසුවෙන් කරගන්නේ කොහොමද කියලා දැනගන්න කැමැත්තෙන් ඔබ මෙය කියවන්නට පටන්ගත් නිසා වැඩි අමතර කතාබහ නැතිව වැඩේට බහිමු.
ආදර්ශය උතුම්

star2.com
තාත්තා රේසරය පාවිච්චි කරන නිසා පුංචි දුවත් රේසරය අරගෙන රැවුල කපන්න හදනවා. අම්මා උයන බව දකින පොඩි පුතා තුවක්කුවක් වෙනුවට පොඩි සෙල්ලම් හට්ටි ටිකක් ඉල්ලනවා. ඒ දරුවන්ගේ හැටි. ඔවුන් තමන්ගේ දෙමව්පියන් කරන දේවල්ම කරන්නයි කැමති. මෙය ඔවුන්ව හොඳ ඉලක්කවලට යොමු කරන්නටත් හොඳ ක්‍රමයක්.
දරුවන්ට කාමරේ අස් කරගන්න කියලා ගෙදර අනෙක් තැන්, අම්මලාගේ කාමරය අපිළිවෙළ නම් එය දරුවාට ආදර්ශයක් වෙන්නේ නැහැ. ආදර්ශයක් වෙනවා කියා දරුවාගේ කාමරය අස් කර දීමත් ඔවුන් ඊට පෙළඹවීමක් නොවෙයි. ඔවුන්වත් හවුල් කරගෙන මුල් දවස් කීපයක් ඒ කාමර දෙකම අස් කරන්න. ඊට පස්සේ හැඩි වුණාම තිබෙන කැත ඔවුන්ම දකීවි.
දරුවන් සමග කාලය ගත කරන්න

raisingchildren.net.au
හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි. ඒත් රැකියාව, අනෙක් වැඩ නිසා දරුවන් එක්ක කාලය ගෙවන්න වෙන්නේ නැහැ නේද? හැබැයි, හවස ගෙදර ඇවිත් දරුවන් සමග ගත කරන සුළු කාලයේදීත් ඔවුන්ව යමකට පොළඹවමින් ඔවුන්ව පීඩනයට පත් කළොත් අවසානයේ දෙපාර්ශවයම අසතුටට පත් වෙනවා විතරයි.
දරුවාව ක්‍රිකට් ක්‍රීඩාවට පොළඹවන්න අවශ්‍ය නම්, පාසලක බිග් මැච් එකක් බලන්න එක්කගෙන යන්න. පොතපත කියවීමට යොමු කරන්නට අවශ්‍ය නම් පුස්තකාලයකට එක්ක ගිහින් ඔවුන් එක්ක පොත් කියවන්න. ඔබත්, අනෙක් අයත් ඒ දේ කරන හැටි දැක්කාම අනවශ්‍ය බල කිරීමක් කොහෙත්ම ඕන වෙන්නේ නැහැ.
පගාව නොදී ඉමු

wikihow.com
අපේ රටේ වගේම, ලෝකයේ රාජ්‍ය පාලනයේ පවා තියෙන ලොකුම ගැටළුවක් තමයි පගාව දෙන එක. වැරදි හෝ හිත අකමැති දෙයක් කරන්න පොළඹවා ගන්නට පගාව දෙන එක පටන් ගන්නේ ගෙදරින් නම්, ඔබ ලොවට දායාද කරන්නේ නරක පුද්ගලයෙක්.
මේ දේ කළොත් ඔයාට සෙල්ලම් බඩුවක් අරන් දෙනවා, මේ දේ නොකළොත් අයිස්ක්‍රීම් කන එක තහනම් වගේ දේවල් ඔවුන්ව ඔබට අවශ්‍ය දේට පොළඹවන නමුත් එය වැරදි ක්‍රමයක්. එයින් ඔවුන් යමක් කළ යුත්තේ මන්දැයි, එහි වටිනාකම තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමය හැමවිටම මඟ හරින්න බලන්න.
සාමකාමීව විසඳමු

everydayfeminism.com
දරුවාට යමක් කරන ලෙස ඉල්ලා සිටින විට හෝ ඔවුන්ව හික්මවන විට, පළමුවෙන් ඔබ සන්සුන් වෙන්න. ළමයින් ඔවුන්ගේ හැඟීම් පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නේ ඔබ දෙස බලාගෙනයි. එනිසා අවශ්‍ය දේ පැහැදිලිව හා ඍජුව පවසන්නට අවශ්‍ය සිතේ සංයමය අපි ගොඩ නගා ගෙන, දරුවන් වෙත යොමු වෙමු.
දරුවාට ඔවුන් කළ යුතු දේ පැහැදිලිව කියන්න. එය කළ යුතු වේලාව පහදා දෙන්න. එය නොකර සිටීමේ ප්‍රතිවිපාක පැහැදිලි කරන්න. ස්ථාවර වෙන්න. සාකච්ඡා කරමින් එහි සැර බාල කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මේ ක්‍රියාවලිය තුළ තරහ නොගෙන, ඍජු ප්‍රතිරූපයක් තබා ගත හැකි නම්, අම්මේ තාත්තේ ඔබ දිනුම්!
ප්‍රතිඵලය ම නොව උත්සාහයත් අගයන්න

nm.org
ගොඩක් වෙලාවට අපි දරුවන්ට හොඳ කියන්නේ එයාලා දෙයක් සාර්ථකව කළාමයි. පොඩ්ඩක් හරි වැරැද්දුවොත් “අපිට ඉන්නේ මෙහෙම ගොන් වහන්සෙලා තමයි” කියලා අපහාසයකුත් කරන්න හිතෙනවා. මේ ක්‍රමය වෙනස් කරමු. අපේ සංස්කෘතිය හෝ අපේ අම්මලාගෙන් අපිට වුණේ මේ දේ නම්, අපේ දරුවන්ටත් ඒ ඍණාත්මක බලපෑම නොකර ඉමු.
යමක් කරන්න කිව්වාට පස්සේ ඒ දේ පිළි අරගෙන හැකි පමණින් හෝ කරනවා නම් එය කොතරම් අගේ ද? ඔවුන් තවම කුඩා දරුවන්. අපිටත් තවමත් කොතරම් දේවල් වරදිනවාද! ඉතින්, හැකි පමණින් හරි මේ සිඟිත්තන් හරි පාරේ යන්න උත්සාහ කරනවා නම් ඒ දේ අගය කරමු. ළඟට අරගෙන හාද්දක් දෙමු. අපිට නිවස තුළදීවත් නොලැබුණු ඒ හාදුව ඔවුන්ට ප්‍රසිද්ධියේ ම දෙමු. එය ඔවුන්ගේ ආත්ම ශක්තිය ගොඩ නගාවි.