
දරුවා ඔබ දෙන දේවල් කන්නේ නැද්ද?
ඔබේ දරුවා දෙනු ලබන ආහාර ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ සිතැඟි ඒවාටම යොමු වෙනවා නම් එය ගැටළුවක් වන්නේ ද, මෙය ඉදිරියට පවතින පුරුද්දක් බවට පත් වනු ඇද්ද යන්න ඔබේ සිතට වද දෙන කාරණයන් වන බව නොඅනුමානයි. දරුවන්ගේ පෝෂණය ගැන සැලකූ කල ඔවුන් මෙලෙස තෝරාබේරාගෙන ආහාර ගැනීම සෞඛ්‍යයමය වශයෙන් අවදානම් සහගත බවට ඔබේ නිතර සිතනවා ඇති. මෙයට කළ හැකි විසඳුම් සොයන්නටයි මේ සුදානම.
තෝරාගෙන කන එක ළමයින්ගේ හැටියි

todaysparent.com
දරුවන් ඔබ ලබා දෙන ආහාර වලට ප්‍රිය නොකර පැණි රස හෝ වෙනත් සෞඛ්‍යයට අහිතකර ආහාර වෙත යොමුවීම සාමාන්‍ය ලක්ෂණයක්. ඊට අමතරව ඔවුන් දිගින් දිගටම නිවසේ සකසනු ලබන ආහාර වලට විරුද්ධවීමට තවත් විවිධ හේතු තිබිය හැකිය.
පෝෂණය පිළිබඳව අවබෝධයක් නොමැති දරුවන් දිවට දැනෙන සංවේදනය මූලික කරගන්නවා. නිවසේ සකසන ආහාර ඒකාකාරී බවින් යුතු නම්, නැතහොත් දියවැඩියා රෝගීන් වැනි අය සිටින නිවෙස්වල වැඩිහිටියන්ට සකසන ලද ආහාර දරුවන්ටත් ලබාදීම නිසා ඒවා අප්‍රිය සහගත වීම සිදුවිය හැකිය.
හේතුව කුමක් වුවත් ඔබ විසින් නිර්දේශ කරනු ලබන ආහාර ගැනීමට දරුවන්ට බලකරමින් නිවසේ ආහාර ගන්නා වේලාව යුද්ධ පිටියක් බවට පත් කර ගෙන තවදුරටත් ඔවුන්ට ආහාර ගැනීම පිළිකුල් සහගත කාරණාවක් බවට පත් නොකර සිටීම ඔබගේ වගකීමක්.
තෝරාගන්නට විකල්ප දෙමු

todaysparent.com
විවිධ අයගේ ආහාර රුචීන් විවිධයි. දරුවන්ට ඔවුන්ටම ගැලපෙන ආහාර රටාවක් සොයා ගැනීමට කාලය ගතවන අතර ඊට උපකාර කරමින් විවිධ ආහාර විකල්ප ලබා දීම ඔබට සහාය විය හැකි එක් ක්රමයකි.
එකම ආහාර වර්ගය තම්බා, කිරට, මිරිසට, තෙලට වැනි විවිධාංගීකරණය කින් යුතුව සකසා ලබාදීමෙන් ඔවුන් වඩාත් ප්‍රියකරන මාදිලිය සොයා ගත හැකි වෙනවා. විවිධ අත්හදා බැලීම් ගණනාවකට අනතුරුව ඔවුන් තමන්ට වඩාත්ම ප්‍රිය ආහාර වේල සොයා ගන්නා ආකාරය ඔබව පුදුම කරවනු ඇති.
සීනි කෑම අඩු කරමු

youworkforthem.com
දරුවන් ආහාර ගැනීම අඩු කිරීමට තවත් කාරණයක් වන්නේ ඔවුන් අමතර ආහාර වේල්වල දී සීනි සහිත ආහාර වර්ග විශාල වශයෙන් ලබා ගැනීමයි. සීනි ජාති කෑම නිසා ඔවුන්ගේ දිව සීනි රසයට හුරු වී තිබෙන අතර එවන් වේලාවක දී වෙනත් එළවළු වර්ග ආහාරයට ගැනීම ප්‍රිය උපදවන දෙයක් නොවේ.
සීනි වර්ග නිසා ශරීරයේ ස්ථුලතාව ඇතිවන ආකාරය, දන්ත සෞඛ්‍යයට එහි බලපෑම, පසුකාලීනව දියවැඩියාව ඇතිවිය හැකි බව සහ එවිට දැන් මෙන් පැණිරස කන්නට නොහැකි වන බව දරුවන්ට කියා දීමෙන් ඔවුන් සීනි සහිත ආහාර වර්ග වලින් මුදවා ගැනීමට හැකිවෙනවා. එසේම, ආහාර ගන්නා ගමන් රූපවාහිනියේ බලනවා නම් වෙළඳ දැන්වීම්වල පළ වන විවිධ සීනි සහිත ආහාර වර්ග ඔවුන්ගේ කෑම රුචියට බලපෑම් එල්ල කළ හැකි බව ද සිහි තබා ගත යුතු වෙනවා.
දරුවන්ව, වැඩිහිටි ආහාර පිළිවෙත්වලට යොමු කරන්න එපා

shawacademy.com
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා හඳුනා ගෙන ඇති ආකාරයට බොහෝ දරුවන්ගේ පෝෂණ ඌනතාවන් ට බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ, නිවසේ ඇති විවිධ ආහාර රටාවන් දරුවන්ට බල කරවීමයි. හෘදයාබාධ රෝගීන්, දියවැඩියා රෝගීන් සහ විවිධ සංස්කෘතිකමය විශ්වාසයන් (නිර්මාංශ බව ආදිය) නිසා සාමාන්‍ය ආහාර රටාවෙන් බැහැරව පිළියෙල කරනු ලබන ආහාර දරුවන්ට ද ලබාදීමෙන් ඔවුන්ට සමබර ආහාර වේලක් නොලැබී යනවා.
එනිසා ඔබේ නිවසේ ද එවන් අය සිටිනවා නම් දරුවන්ට වෙනම ආහාර වේලක් සමබරව ලබා දීමට කටයුතු කරන්න. දරුවන් කැමති මස් මාංශ ද සමග, කටට රසට සහ ඇතැම්විට, සැරටත් කන්නට යි.
දියර වෙනුවට සමබල ආහාර

sciencenews.org
නිවසේ අමුත්තන්ට ගෙන යනු ලබන විවිධ බීම වර්ග පැණි බීම වර්ග අමතර ආහාර වේල් වල දී ජලය වෙනුවට දරුවන් පානය කිරීමට පෙළඹෙනවා නම් ඒ ආහාර ගැනීමට ද බලපෑ හැකියි. මෙම පාන වර්ග වල ඇති අධික සීනි සෞඛ්‍යයට අහිතකර වන අතර සාමාන්‍ය ආහාර වේල් සඳහා ද බලපෑම් එල්ල කළ හැකියි. මේ නිසා සීනි සහිත පාන වර්ග වෙනුවට දරුවන්ව ජලය පානයට යොමු කිරීම වැදගත් වෙනවා.
කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු පෝෂක වර්ග වලින් අනූන ආහාර වර්ග දරුවන්ට ලබාදීමත්, ඔබ ඒවා අනුභව කරමින් ඔවුන්ට ආදර්ශයක් වීම කළ යුතුයි. ඒවා කන්නැයි දරුවාට බල නොකර සිටීම ම ඔවුන්ව ඒවා වෙත පහසුවෙන් යොමු කරවා ගන්නට හැකි ක්‍රමයක් බවට පත්වෙනවා
ආහාර ගැනීම යනු අප්‍රසන්න දෙයක් නොවන බවට දරුවන් වටහා ගත් පසු, ඔබට තවදුරටත් ඔවුන්ගේ කට විශාලව අරින්නැයි කියා ආහාර ගුලි සමඟ එතුලට ගුවන් යානා යවන්නට නම් අවශ්‍ය වෙන එකක් නැහැ!