
දරුවන් සමග Beach යන්නට පෙර බැක්ටීරියාවන් ගැන සැලකිලිමත් වෙන්න
දරුවන් Beach යමුදැයි ඇසූ විට, ඔබට මුලින්ම සිහි වන්නේ අධික අව් රශ්මිය හෝ දියේ ගිලීම වැනි දේවල් විය හැකිය. නමුත් සලකා බැලිය යුතු තවත් දෙයක් තිබේ. ඒ, ජලයේ ඇති රෝගකාරක බැක්ටීරියාවන් ය.
ඔක්කාරය, පාචනය හෝ ශ්වසන ආසාදනයක් ඇති කළ හැකි මේ විෂබීජ වලින් ආරක්ෂා වෙමින්, එය මුහුදු වෙරළින් විනෝදය ලැබීම සඳහා බාධාවක් කර නොගෙන කටයුතු කරන ආකාරය ගැනයි මේ කියන්නට ලැහැස්තිය.
ස්ථානයක් තෝරාගැනීම

indiatimespost.com
ජලය අපවිත්‍ර වීමක් පිළිබඳ වෙරළ තීරයේ සංඥා පුවරු පළ කිරීමට තරම් ජාතික අවශ්‍යතාවයක් ඇතිව නොමැත. ගැටළුව බහුල ස්ථාන වෙතොත් එවන් දැන්වීම් රාජ්‍ය හා ප්‍රාදේශීය මට්ටමින් හසුරුවනු ලැබිය හැක. ඊටත් වඩා ස්ථානානුකූලව ජලය අපවිත්‍ර විය හැකි ආකාරයන් ගැන සැලකිලිමත් වීමෙන් අනවශ්‍ය රෝගකාරකයන් මඟහැරිය හැක.
නිතිපතා අධීක්ෂණයට ලක් වන ප්‍රදේශවල, හොඳ ජල සංසරණයක් සහිත අඩු සංවර්ධිත ප්‍රදේශවල ඇති වෙරළ පරිසරයක් තෝරා ගන්න. අධික වර්ෂාපතනයකින් පසු, අපද්‍රව්‍ය බැහැර කරන පයිප්ප ආසන්නයේ හෝ නාගරික වෙරළ තීරයන්හි ස්නානයෙන්/පිහිනීමෙන් වළකින්න. ජනතාව බහුලව ස්නානය කරන ස්ථාන යනු බොහෝවිට පිරිසිදු ජලය ඇති බවට ඉඟියකි.
ජලය ගිලීමෙන් / පානයෙන් වළකින්න

stocksy.com
ඕනෑම කෙනෙක් වෙත ජලයෙන් විෂබීජ ශරීරගත විය හැකි ප්‍රධාන ක්‍රමයක් වන්නේ ජලය ගිලීමයි. දරුවන් බොහෝ විට නොදැනුවත්කම නිසා හෝ පිහිනීමට පුරුදු වීමේදී ශ්වසන මාර්ගය හරහාත්, මුඛය හරහාත් ජලය ශරීරගත කරගත හැක. බොහෝ විෂබීජ නැසීමේ හැකියාව උදරයේ ආම්ලික පරිසරයට හා ශ්වසන මාර්ගයට ඇති නමුදු සෑම එකකටම එය ප්‍රතිරෝධී නොවිය හැක.
සැක සහිත ස්ථානවල පමණක් නොව ජනතාව බහුල ස්ථානවල ස්නානය කිරීමේදී අන් අයගේ විෂබීජ, මුත්‍රා කිරීම් ආදියෙන් අපවිත්‍ර වූ ජලය ගිලීමෙන් වැළකීම ශරීරයට හිතකරය. මේ ජලය ස්නානය ගැටළුවක් නොවෙතත්, හිස දියේ නොගිල්වා විනෝදය ලැබීම සෞඛ්යාරක්ෂිතය.
තුවාල ආවරණය කරගන්න

clevelandclinic.org
විෂබීජ ශරීරයට ඇතුළු විය හැකි තවත් ක්‍රමයක් නම්, බාහිරට නිරාවරණය වූ තුවාලයි. කුඩා දරුවන්ගේ දඟකාරකම් නිසා මේ අවදානම තවත් වැඩිය. එබැවින් තුවාල සහිත කාලවලදී මුහුදු වෙරළට නොයා සිටීම නුවණට හුරුය. ජලය පමණක් නොව, මුහුදු වැලි ගෑවීමෙන් පවා මේ තුවාල වල ආසාදනයන් හටගත හැක.
මුහුදේ ලවණ ජලය තුවාල පිරිසිදු කරන බවට පුරාණ මතයක් තිබේ. සැබැවින්ම ලුණු මිශ්‍රිත ජලයට විෂබීජ මර්දනය කිරීමේ හැකියාව තිබේ. එහෙත් අද කාලයේ එය සීමා වන්නේ නිවසේ සකසාගත් ද්‍රාවණයකට පමණි. මුහුදු ජලය යනු ගොඩබිමින් මෙන්ම නෞකා වලින් පවා අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකි. එසේම, පොදු ස්නාන ස්ථානවල කෙළ ගැසීම, මුත්‍රා කිරීම සාමාන්‍ය දෙයක් කරගත්, අනෙකුන් ගැන බිඳකුදු නොහිතන අමනයින් සිටිති. එනිසා පුරාණ මතයන්ට දැන් ඉඩක් නැත.
වැලි සෙල්ලම් කිරීමෙන් පසු දෑත් සේදීම

dralamiskids.com
වෙරළේ වැලි සෙල්ලම් කිරීමෙන් ආමාශ ආන්ත්රික රෝග ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බව මෑත කාලීන පර්යේෂණ පෙන්වා දී තිබේ. මුහුදු වැලි යනු දරුවන් බෙහෙවින් ආසා කරන දෙයක් නමුත් වෙරළේ සිටින ජනතාව ඉවත්ව ගිය පසු මෙරට මුහුදු වෙරළ යාචකයන්ගේත්, සුනඛයන්ගේත්, වෙරළබඩ ඇතැම් ජනතාවගේත් පොදු වැසිකිළිය බවට පත් වේ.
එසේම, මුහුදු රැල්ලෙන් ගෙනැවිත් හරින සියලු අපද්‍රව්‍ය නවතින්නේ වැල්ලේ ය. මේ නිසා වැලි සෙල්ලම් කිරීමෙන් පසු විෂබීජනාශක හැකියාවන් ඇති සබන් / හෑන්ඩ් වොෂ් (handwash) වර්ග යොදා හොඳින් නියපොතු, ඇඟිලි අතර හිඩැස්, මැණික් කටුව දක්වා අත් පිරිසිදු නොකොට ආහාර ගැනීමට දරුවන්ට ඉඩ නොතබන්න. ඒ ආකාරයට ම දෙපා ද හොඳින් සෝදන්න.
මුහුදු ජලය ස්නානයෙන් පසු පිරිසිදු ජලය ස්නානය කරන්න

cryptocommentary.net
“මුහුදේ නානවා” කීවාට සැබවින්ම එය සුදුසු පිහිනීමෙන් විනෝදයක් ලැබීමට ය. බොහෝ රටවල ප්‍රසිද්ධ මුහුදු වෙරළ ආසන්නයේ පිරිසිදු ජල කරාම තබා තිබේ. හෝටල්වල පිහිනුම් තටාක සමග ඒ පහසුකම් ලබා දී ඇත්තේ ද පිහිනුම් තටාකවල ඇති විය හැකි සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ගැටළු නිසා ය. මෙරට මුහුදු වෙරළෙහි එවන් පහසුකම් අවම බැවින් අවම වශයෙන් නිවසට ආ වහා හොඳින් කය පිරිසිදු කර ගැනීම කළ යුතු වේ.
මුහුදේ නෑමෙන් පසු ඔබට හෝ දරුවාට රෝග ලක්ෂණයක් දක්නට නොමැති නම්, මේ ගැන කරදර විය යුතු නැත. මෙය කියවා දරුවන්ගේ විනෝදය සීමා කිරීමට ද කිසිදු අවශ්‍යතාවක් නොමැත. නමුත් අපවිත්‍ර බවට සැක කළ හැකි ස්ථානයක පිහිනීමෙන් පසු සාමාන්‍යයෙන් දරුවාගේ ඇඟ දුර්වල නම්, භයානක රෝග ලක්ෂණ මතු වන තෙක් බලා නොසිට වෛද්‍යවරයකු හමුවීම නුවණට හුරු ය.